30 March 2021

🚨🦟 ඩෙංගු මර්ධනයට අදම එක්වෙමු! 🦟🚨

news images

🚨🦟 ඩෙංගු මර්ධනයට අදම එක්වෙමු – ඔබේ ක්‍රියාවකින් ජීවිතයක් රැකෙයි! 🦟🚨

නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමඟ දිවයින පුරා වැසි තත්ත්වය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වී තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම මේ වන විට දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

සෞඛ්‍ය වාර්තා අනුව පසුගිය මැයි මාසයේ අවසන් සතිය වන විට ඩෙංගු රෝගීන් 2,445 දෙනෙකු වාර්තා වී ඇති අතර, රට පුරා සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 74ක් ඩෙංගු ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව වැඩි අවධානයක් යොමු කර තම නිවස, ආයතනය හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත.

ඩෙංගු මදුරුවා බෝවීමට අවශ්‍ය වන්නේ දින කිහිපයක් පුරා එකතු වී පවතින සුළු ජල ප්‍රමාණයක් පමණි. එබැවින් නිවසේ හා ගෙවත්තේ පවතින ටින් කෑන්, පොල් කටු, ප්ලාස්ටික් බෝතල්, ටයර්, මල් බඳුන්, ජල ටැංකි සහ අනෙකුත් ජලය රැඳී සිටිය හැකි ස්ථාන නිතිපතා පරීක්ෂා කර පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ.

විශේෂයෙන්ම සතියකට අවම වශයෙන් මිනිත්තු 30ක් වෙන් කර තම පරිසරය පරීක්ෂා කිරීමෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම සැලකිය යුතු ලෙස පාලනය කළ හැකිය. උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, මාංශපේශී හා සන්ධි වේදනාව වැනි ඩෙංගු රෝග ලක්ෂණ ඇති වුවහොත් ප්‍රමාද නොවී ළඟම ඇති සෞඛ්‍ය ආයතනය වෙත යොමු වීමද ඉතා වැදගත්ය.

🤝 ඩෙංගු මර්ධනය සෞඛ්‍ය අංශවල පමණක් වගකීමක් නොව, සමස්ත ප්‍රජාවගේම වගකීමකි.

අපගේ කුඩා කැපවීමක් මගින් අපගේ දරුවන්, පවුල සහ ප්‍රජාව ඩෙංගු අවදානමෙන් ආරක්ෂා කර ගත හැකිය.

🌿 පිරිසිදු පරිසරයක් – නිරෝගී හෙට දවසක්
🦟 ඩෙංගු මදුරුවන්ට ඉඩ නොදෙමු – ජීවිත සුරකිමු!

Top