06/01/2026

ගණිත සම්මන්ත්‍රණය (සාමාන්‍ය පෙළ විභාගය)

slider image

 මැදගම විද්‍යාල පරිශ්‍රය


අරලගංවිල අධ්‍යාපන කලාපයට අයත් මැදගම විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන දරු දැරියන්ගේ ගණිත විෂය දැනුම වර්ධනය කිරීම, විෂය සංකල්ප පැහැදිලි කිරීම හා විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගාත්මක මඟපෙන්වීම ලබාදීම යන අරමුණු මුල්කරගෙන ගණිත සම්මන්ත්‍රණයක් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන අංශය මගින් 2025.12.30 වන දින සාර්ථකව සංවිධානය කර පැවැත්විණි.
මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණය පැවැත්වූයේ මැදගම විද්‍යාල පරිශ්‍රයේදී වන අතර, එයට මැදගම විද්‍යාලයේ දරු දැරියන් සමඟ අවට පාසල් කිහිපයක සාමාන්‍ය පෙළ දරු දැරියන් ද විශාල සංඛ්‍යාවකින් සහභාගී වූහ. දරුවන්ගේ සක්‍රීය සහභාගීත්වයත්, ගණිත විෂය පිළිබඳ ඔවුන්ගේ උනන්දුවත් මෙම වැඩසටහන පුරා දක්නට ලැබිණි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායක ගුරුවරුන් ලෙස මැදගම විද්‍යාලයේ ගණිත විෂය භාර ගුරු මහතුන් දෙපල සම්බන්ධ වී, සාමාන්‍ය පෙළ ගණිත විෂය නිර්දේශයට අදාළ වැදගත් පාඩම් කොටස්, විභාගයට නිතර ඇසෙන ප්‍රශ්න රටා, ගැටළු විසඳීමේ කාර්යක්ෂම ක්‍රමවේද, කාල කළමනාකරණය සහ ලකුණු උපරිම කරගැනීම සඳහා අත්‍යවශ්‍ය උපදෙස් දරුවන්ට සවිස්තරාත්මකව පැහැදිලි කර දුන්හ.
මෙම අධ්‍යාපනික වැඩසටහනේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කරමින් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් මෙම අවස්ථාවට සහභාගී වී දරු දැරියන් අමතා දේශනයක් සිදු කළ අතර, අධ්‍යාපනය හරහා දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාදේශීය සභාව සෑමවිටම කැපවී සිටින බව අවධාරණය කළහ.
ඊට අමතරව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙපලක්, ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී, වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්හ.
දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම හා ප්‍රදේශයේ අධ්‍යාපනික සංවර්ධනයට දායක වීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද මෙම ගණිත සම්මන්ත්‍රණය, සහභාගී වූ සියලු දරු දැරියන්ට විශාල ප්‍රයෝජනයක් වූ අතර, අනාගතයේද මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිඹුලාගල ප්‍රාදේශීය සභාව සැලසුම් කර ඇති බවද මෙහිදී සඳහන් විය.

Top