30 March 2021

🌱🍃 හරිත සතිය 2026 🍃🌱

news images

🌱🍃 හරිත සතිය 2026 – පරිසරය සුරකිමු, අනාගතය ගොඩනගමු! 🍃🌱

ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන්වලට සමගාමීව, “පිරිසිදු හුස්මක් – පිරිසිදු පරිසරයක්” යන තේමාව යටතේ දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන හරිත සතිය 2026 වැඩසටහන ජූනි මස 05 සිට 08 දක්වා ක්‍රියාත්මක කෙරේ.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන පාරිසරික අභියෝගයන් වන වන විනාශය, දේශගුණික විපර්යාස, අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා ජනතාව තුළ පරිසර හිතකාමී ආකල්ප හා වගකීම් සහගත හැසිරීම් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

🌳 ජූනි 05 – රුක් රෝපණ වැඩසටහන
ලෝක පරිසර දිනයට සමගාමීව දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් වැලි ව්‍යාපෘති භූමියේ ඔය ඉවුර තුළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් හරිත ආවරණය වර්ධනය කිරීම සඳහා පියවර ගනු ලැබේ. මෙමඟින් අනාගත පරපුර වෙනුවෙන් හරිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

♻️ ජූනි 06 – අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන
පාසල් සිසුන්, රාජ්‍ය ආයතන හා මහජනතාව දැනුවත් කරමින් අපද්‍රව්‍ය වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය, නැවත භාවිතය සහ නිසි ලෙස බැහැර කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම,කසළ බදුන් ස්ථානගත කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇත. පිරිසිදු පරිසරයක් ගොඩනැගීම සඳහා සෑම පුරවැසියෙකුගේම දායකත්වය මෙහිදී අවධාරණය කෙරේ.

🌍 ජූනි 08 – ආකල්ප සංවර්ධන වැඩසටහන
පරිසර සංරක්ෂණය සඳහා පුද්ගල වගකීම, සමාජ වගකීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පිවිතුරු පුරවර විශේෂ වැඩසටහන් හා සාකච්ඡා පැවැත්වේ. පරිසරය සුරැකීම දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත් කිරීම මෙහි අරමුණයි.

🌱 පරිසරය අපට උරුම වූ වටිනා සම්පතකි. එය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමකි.
එබැවින් හරිත සතිය 2026 වැඩසටහනට එක්වෙමින් හරිත දිඹුලාගලක්, පිරිසිදු ශ්‍රී ලංකාවක් සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමට ඔබත් දායක වන්න.

💚 අද අප රෝපණය කරන එක් පැළයක්, හෙට පරපුරට ජීවය දෙන වටිනා උරුමයකි.

Top