14/07/2026

🌕🪷 ඇසළ පොහොය නිමිත්තෙන් පැවති සිඟිති බැති ගී ප්‍රසංගය අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව පැවැත්විණි 🙏🎶

slider image

 


🌕🪷 ඇසළ පොහොය නිමිත්තෙන් පැවති සිඟිති බැති ගී ප්‍රසංගය අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව පැවැත්විණි 🙏🎶
2026.07.13 දින ඇසළ පොහොය නිමිත්තෙන්, දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන දිඹුලාගල ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල, දිඹුලාගල සිංහල මාධ්‍ය පෙරපාසල සහ දිඹුලාගල ප්‍රාදේශීය සභා පෙරපාසල යන පෙරපාසල් තුනේ සිඟිති දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද බැති ගී ප්‍රසංගය, දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී සවස් යාමයේ ඉතා අලංකාරවත් හා ආධ්‍යාත්මික වාතාවරණයක් තුළ පැවැත්විණි.
🪔 මෙම අවස්ථාවට වැඩම කළ ගරු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ ආශිර්වාදය මධ්‍යයේ වැඩසටහන ආරම්භ වූ අතර, ඇසළ පොහොයේ ආගමික හා සංස්කෘතික වැදගත්කම පිළිබඳව දරුවන්ටත්, පැමිණ සිටි සැමටත් වටිනා ආදර්ශයක් ලබාදීමට එය මහත් පිටිවහලක් විය.
🎵 සිඟිති දූ දරුවන්ගේ මධුර හඬින් ගැයුණු බැති ගී, ඔවුන්ගේ නිර්මල හා ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් සහ සුන්දර වේදිකා අලංකරණය හේතුවෙන් ප්‍රසංගය නැරඹීමට පැමිණි සියලු දෙනාගේ සිත් භක්තියෙන් හා සතුටෙන් පුරවාලීය.
🌼 මෙවැනි වැඩසටහන් මඟින් කුඩා දරුවන් තුළ බෞද්ධ සාරධර්ම, යහපත් ගුණාංග, ආගමික හැඟීම් සහ සංස්කෘතික වටිනාකම් වර්ධනය කරමින්, ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් සහ වේදිකා කුසලතාද ඔප්නංවා ගැනීමට මහඟු අවස්ථාවක් උදා වේ.
👨‍👩‍👧‍👦 මෙම අවස්ථාව සඳහා ගරු ස්වාමීන් වහන්සේ, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන් , ගරු මන්ත්‍රී මණ්ඩලය, නිලධාරී මහත්ම මහත්මීන්, පෙරපාසල් ගුරු මහත්මීන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිඟිති දරුවන් දිරිමත් කළහ.
💐 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලුම පෙරපාසල් ගුරු මහත්මීන්, දෙමාපියන්, නිලධාරීන් සහ සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
🌕🙏 ඇසළ පොහොයේ උතුම් ආශිර්වාදය සියලු දෙනාට නිරෝගී, සතුටින් පිරි, සාමකාමී සහ සෞභාග්‍යමත් දිවියක් උදා කරත්වා!