03/01/2026

🛕🌿 දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ✨

slider image

 දිඹුලාගල ආරණ්‍ය සේනාසනය


දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් විශේෂ හමුවක්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ විශේෂ සහභාගීත්වයෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී 2026.01.03 වන දින සාර්ථක ලෙස පැවැත්විය.

මෙම හමුවේදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉතිහාසමය, ආගමික හා සංස්කෘතික වටිනාකම ආරක්ෂා කර ගනිමින්, ආරණ්‍ය සේනාසනයට අයත් භූමිය, ආශ්‍රිත පරිසර පද්ධතිය හා භික්ෂු ආරක්ෂිත වාසය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. ඒ සමඟම, අනාගතයේදී මෙය ආගමික හා සංචාරක ආකර්ෂණයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳද අවධානය යොමු කරන ලදී.

මෙම අවස්ථාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ගරු නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරු ස්වාමීන් වහන්සේලා සහභාගී වූ අතර, පාර්ලිමේන්තු ගරු කථානායක ජගත් වික්‍රමරත්න මැතිතුමන්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිඹුලාගල සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු සුනිල් රත්නසිරි මැතිතුමන්, පොලොන්නරුව දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී. සරත් මැතිතුමන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඒ සමඟම පොලොන්නරුව දිස්ත්‍රික් මහ දිසාපතිතුමන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා, රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරී පිරිසක්ද සහභාගීව, සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය ආයතනික සහයෝගය, නීතිමය කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය සහ අරමුදල් සැලසුම් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම විශේෂ හමුව මඟින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීම සදහා රාජ්‍ය, ආගමික හා ප්‍රාදේශීය ආයතන අතර සමගි සහ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට මූලික පදනමක් සකස් වූ බවද මෙහිදී අවධාරණය කෙරුණි.

Top