09/06/2026

🌿♻️අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ හා ප්‍රචාරක වැඩසටහන🌿♻️

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


🌿♻️ 2026 පරිසර සතියට සමගාමීව අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ හා ප්‍රචාරක වැඩසටහන සාර්ථකව පැවැත්විණි ♻️🌿

“පිරිසිදු හුස්මක් – පිරිසිදු පරිසරයක්” යන තේමාව යටතේ 2026 පරිසර සතියට සමගාමීව සංවිධානය කරන ලද අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ හා ප්‍රචාරක වැඩසටහන 2026.06.09 දින දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයම ආවරණය වන පරිදි සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ගේ සහ ලේකම්තුමන්ගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ අතර, පරිසර සංරක්ෂණය සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජනතාව තුළ වගකීම් සහගත ආකල්ප වර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණ විය.

වැඩසටහන යටතේ බල ප්‍රදේශයේ ප්‍රධාන නගර, වෙළඳ මධ්‍යස්ථාන, මහජන ඒකරාශී වන ස්ථාන සහ ප්‍රවාහන මාර්ග ආවරණය වන පරිදි විශේෂ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ප්‍රචාරක අංශය බල ප්‍රදේශය පුරා ගමන් කරමින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම, පරිසර දූෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම්, කසළ වර්ගීකරණය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ පරිසර හිතකාමී ජීවන රටාවන් පිළිබඳ ජනතාව දැනුවත් කරන ලදී.

එමෙන්ම වෙළඳ ප්‍රජාව, ත්‍රිරෝද රථ රියදුරන්, බස් රථ මගීන් ඇතුළු මහජනතාව වෙත අත්පත්‍රිකා බෙදාදෙමින් නිසි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදී. විශේෂයෙන්ම නිවසේ සිටම කසළ වර්ගීකරණය කිරීම, දිරන හා නොදිරන අපද්‍රව්‍ය වෙන් කිරීම, විවෘත ස්ථානවල කසළ බැහැර කිරීමෙන් වැළකීම සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සඳහා ජනතා දායකත්වය ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.

අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් පරිසර දූෂණය, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම, වායු දූෂණය, රෝග ව්‍යාප්තිය සහ ස්වාභාවික පද්ධතිවලට සිදුවන හානි පිළිබඳවද ජනතාව දැනුවත් කරමින් පරිසරය සුරැකීම සඳහා සෑම පුද්ගලයෙකුම ඉටු කළ යුතු වගකීම පිළිබඳව අවධාරණය කරන ලදී.
පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර පරිසරයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතන, වෙළඳ ප්‍රජාව සහ මහජනතාව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන තුළින් නැවතත් තහවුරු වූ අතර, අනාගත පරපුර වෙනුවෙන් හරිත හා පිරිසිදු පරිසරයක් උරුම කරදීම සඳහා සෑම පුරවැසියෙකුගේම දායකත්වය අත්‍යවශ්‍ය බව අවධාරණය කරන ලදී.

🌱 පරිසරය සුරැකීම යනු අනාගතය සුරැකීමයි.
♻️ පිරිසිදු හුස්මක් – පිරිසිදු පරිසරයක් සඳහා අප සැම එක්ව වගකීමෙන් ක්‍රියා කරමු.

📅 🌍 ජගත් පරිසර දිනය 2026 🌍 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top